Friday 31 August 2012

ජලය




                        ජීවි දේහයක අඩංගු බහුලතම අකාබනික සංයෝගය ජලය වන අතර මිනිස් දේහයේ 60%ක පමණ ජලය අඩංගු වේ.O පරමාණුවක් H පරමාණු 2ක් සමග කෝණිකව බැදී යමින් ජල අණුව සැදී ඇත.එය ද්වී ධ්‍රැවීය අණුවකි.පහත සුවිශේෂී ගුණ ජලය දරයි.

  • කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් වීම.

ජලයට වඩා අණුක භාරයෙන් වැඩි කාබන්ඩයෝක්සයිඩ්  සහ අණුක භාරයෙන් අඩු ඇමෝනියා කාමර උෂ්ණත්වයේ දී වායූන් ලෙස පැවතියත් එයට අතරමැදි අවස්ථාවේ පවතින ජලය ද්‍රවයක් ලෙස පවති.මේ නිසා ප්‍රාක් ප්ලාස්මයේ ප්‍රධාන සංඝටකය වන්නේ ජලයයි.


  • ධ්‍රැවීයතාවය


ජලය ද්වීධ්‍රැවීය අණුවක් බැවින් ඉතා හොද ද්‍රාවකයකි.විශේෂයෙන් ජලකාමී ද්‍රව්‍යය සදහා මෙය විශේෂය.එබැවින් සර්ව ද්‍රාවකයක් ලෙස හැදින්වේ.


  • රසයානිකව උදාසීන වීම


බොහෝමයක් ජෛව රසයානික ප්‍රතික්‍රියා සිදුවන්නේ ජලීය මාධ්‍යයක් තුල දීය.


  • අධික විශිෂ්ට තාප ධාරිතාව


ජලයේ සුළු උෂ්ණත්ව වෙනස් වීමකට පවා විශාල තාප ප්‍රමාණයක් විචලනය වේ. එබැවින් අවට පරිසරයේ උෂ්ණත්ව වෙනස් වීමකදී ජීවි දේහ වල උෂ්ණත්වය බොහෝ දුරට නියතව පවති.


  • අධික වාෂ්පිකරණයේ ගුප්ත තාපය


ද්‍රව ජලය වාෂ්පිකරණයට හ් බන්ධන බිද හෙලිමට විශාල තාප ප්‍රමාණයක් ලබා දිය යුතුය.එම නිසා ජලය පහසුවෙන් ජලය වාෂ්ප නොවේ.


  • අධික වියලනයේ ගුප්ත තාපය


ජලයේ වාෂ්පිකරණයට ප්‍රතිවර්ත ලෙස වියලනය සදහා ද වැඩි තාප ප්‍රමණයක් පිට කල යුතුය. එබැවින් ජලීය පද්ධති පහසුවෙන් මිදෙන්නේ නැත.


  • හිමාංකයේදි ජලයේ අසමාකාර ලෙස ප්‍රසාරණය


ජලය සිසිල් වන විට අයිස් බවට පත් වූ පසු (හිමාංකයේදී) ඝනත්වය අඩු වී  අයිස් ද්‍රව ජලය මතුපිට පාවේ. එම නිසා ජලාශයක නම් මතුපිට ස්තරය අයිස් වලින් ආවරණය වී ජලජ ජීවින්ට ශීත කාලයේදී නිරුප්‍රදිතව විසීමට හැකි වේ.


  • සංසක්ති හා ආසක්ති බල


ජල අණු ජල අණු අතර ඇති වන ආකර්ෂණ බල සංසක්ති බල ලෙස ද ජල අණු හා වෙනත් අණු සමග හට ගන්නා බල ආසක්ති බල ලෙස ද හදුන්වයි. උත්ස්වේදනය හා සෛලම තුලින් ජලය පරිවහනය මීට නිදසුන් වේ.


  • ඉහල පෘෂ්ඨික ආතතිය


ජල පෘෂ්ටයක ඇති ජල අණු හා ඒ වට ඇති ජල අණු (විශේෂයෙන් වායුගෝලයේ) සමග හ් බන්ධන වලින් බැදි යමින් ඇති වන බලය පෘෂ්ඨික ආතතිය වේ.දියලිස්සන්නා වැනි කෘමීන්ගේ පැවත්මට මෙය උපකාරී වේ.


  • පාරදෘශ්‍ය වීම


මේ හේතුවෙන් ජලජ ශාක වලට සැලකිය යුතු ගැඹුරක වැඩීමට හැකියාව ලැබි ඇත.

ජලයේ කාර්යයන්


  1. ප්‍රාක් ප්ලාස්මයේ ප්‍රධාන සංඝටක ලෙස
  2. සන්ධාරණය                     උදා ද්‍රවස්ථිති සැකිලි
  3. ද්‍රව්‍ය පරිවහනය                 උදා රුධිරය
  4. ව්‍යාප්ති කාරකයක් ලෙස    උදා බීජ,ඵල,ජන්මාණු
  5. බාහිර සංසේචනයේදී චල ජන්මාණු සදහා මාධ්‍යයක් ලෙස
  6. ජල විච්ඡේදනයේදී ප්‍රතික්‍රියකයක් ලෙස
  7. ආස්‍රෑතිය සහ ශූනතාව පවත්වා ගැනීම.
  8. උත්ස්වේදනය හා පරිසංක්‍රමණය
  9. පූටිකා වල චලනය පාලනය
  10. ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රධාන අමුද්‍රව්‍යක් වීම
  11. ජලය අවශෝෂණයෙන් බීජ ප්‍රරෝහණය ආරම්භ වීම
  12. ස්නේහනය                      උදා ලසිකා තරලය
  13. ආරක්ෂාව                        උදා කදුළු
  14. පර්යටනය
  15. සිසිල් වීම


Thursday 30 August 2012

ජීවයේ රසයානික පදනම


                  ජීවි සෛල තුල විවිධ සංයෝග පවතින අතර ඒවා සැදීමට මූලද්‍රව්‍ය 20ක් පමණ දායක වේ.

අවශ්‍යතා මූලද්‍රව්‍ය

ජීවින්ගේ වර්ධන හා විකසන ක්‍රියා සදහාත් ඔවුන්ගේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සදහාත් දායක වන මූලද්‍රව්‍ය අවශ්‍යතා මූලද්‍රව්‍ය වේ.මෙය කොටස් 2කට බෙදිය හැක.

අධි මාත්‍ර මූලද්‍රව්‍ය

ජීවින්ගේ වර්ධන හා විකසන ක්‍රිය හා ඔවුන්ගේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සදහා දායක වන සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් (ජීවි දේහයේ වියළි බරින් 0.01%කට වඩා) අවශෝෂණය කරනු ලබන මූලද්‍රව්‍ය වේ.

කාබන                (C) 
හයිඩ්‍රජන්            (H)
ඔක්සිජන්           (O)
නයිට්‍රජන්           (N)
පොස්පරස්         (P)
සල්ෆර්               (S)
පොටෑසියම්       (K)
කල්සියම්          (Ca)
මැග්නීසියම්      (Mg)

අධිමාත්‍ර මූලද්‍රව්‍ය අතුරින් ද බහුලව පවතින්නේ C,H,O,N

අංශු මාත්‍ර මූලද්‍රව්‍ය

ජීවින්ගේ වර්ධන හා විකසන ක්‍රිය හා ඔවුන්ගේ ජීවන චක්‍ර සම්පූර්ණ කිරීම සදහා දායක වන සාපේක්ෂව අඩු ප්‍රතිශතයකින් (ජීවි දේහයේ වියළි බරින් 0.01%කට අඩුවෙන්) අවශෝෂණය කරනු ලබන මූලද්‍රව්‍ය වේ.

සංයෝග


සංඝටක මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් නිශ්චිත අනුපාත වලට අනුකූලව
විවිධාකාර බන්ධන වලින් බැදෙමින් සංයෝජනය වීම සංයෝග ලෙස හදුන්වයි.ජීවි ද්‍රව්‍ය ප්‍රධාන සංයෝග කාණ්ඩ දෙකකට බෙදිය හැක

  1. කාබනික සංයෝග
  2. අකාබනික සංයෝග


ජෛව අණු 

ජීවි දේහ තුල අනිවාර්යයෙන් අඩංගු කාබනික අණු ජෛව අණු වේ.

මහා අණු

බහුඅවයවීකරණය වූ අණුක භාරය 10000-10000000000 පමණ වන අණු මහා අණු වේ.



Wednesday 29 August 2012

විද්‍යාත්මක ක්‍රමය




                යම් සිද්ධියක් හෝ ගැටළුවක් අණ්වේෂණය කිරීම සදහා ලොව පුරා විද්‍යාඥයින් අනුගමනය කරන පිලිගත් ක්‍රමානුකූල ක්‍රියාවලිය, විද්‍යාත්මක ක්‍රමය ලෙස හැදින් වේ.


විද්‍යාත්මක ක්‍රමයේ පියවර


  1. ක්‍රමානුකූල නිරීක්ෂණ පදනම් කරගෙන ගැටළුවක් හදුනා ගැනීම.
  2. ප්‍රශ්න විචාරීම හා එය පදනම් කරගෙන කල්පිත ගොඩ නැගීම.
  3. අවශ්‍ය අවස්ථා වලදී කල්පිත පරීක්ෂා කිරිමට පාලක පරීක්ෂණ යොදා ගැනීම.
  4. තවදුරටත් පරීක්ෂණ කරමින් කල්පිත තහවුරු කිරීම හා පුරෝකථනය කිරීම.
  5. නිරීක්ෂණ / සාක්ෂි ආධාරයෙන් පුරෝකථන තහවුරු කිරීම.
  6. වාද ගොඩනැගීම


පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන පදනම් කර ගනිමින් යම් සත්‍යයක් ඉදිරිපත් කිරීම මූලධර්මයක් ලෙස හදුන්වයි.

පරීක්ෂණ සිදු කල නොහැකි අවස්ථ වලදී ඒකතු කල දත්ත විශ්ලේෂනය කර යම් මනංකල්පිත බුද්ධිමය අනුමාන කිරිමක් කල්පිතයක් හෙවත් වාදයක් ලෙස හදුන්වයි.


Tuesday 28 August 2012

ජීව විද්‍යාව හැදින්වීම


               අප අවට ඇති පරිසරය ජීවි හා අජීවි ලෙස කොටස් දෙකකට බෙදු විට ජිවී පරිසරය පිළිබද  අධ්‍යනය කිරීම ජීව විද්‍යාව ලෙස හැදින්විය හැකිය.

               ජීවය පිලිබද නිශ්චිත අර්ථ  දැක්වීමක් නැතත් යම් සුවිශේෂි ලක්ෂණ කිහිපයක් දරන්නන් ජීවින් ලෙස හදුන්වයි.

  • ක්‍රමවත්බව හා සංවිධානය [Order and Organisation] 
                 ජෛව විද්‍යාත්මක ක්‍රියාවන් උපරිම කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීම සදහා මූලික ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන සෛලයේ සිට ජෛව ගෝලය දක්වා ධූරාවලි මට්ටම් ක්‍රමවත් ව සංවිධනය වී ඇත.

උප පරමාණුක අංශු
පරමාණු
සරල අණු
මහා අණු
ඉන්ද්‍රයිකා
සෛල
පටක
අවයව
පද්ධති
ජීවියා
ගහණය              -යම් ප්‍රදේශයක නිශ්චිත කාලයකදී ජීවත් වන එකම විශේෂයකට අයත් ජිවීන්
ප්‍රජාව                 -යම් වාසස්ථානයක එකිනෙකට අන්තර්ක්‍රියා දක්වමින් ජීවත් වන ජීවින්
පරිසර පද්ධතිය  -ජීවින්ගේ හා අජීවින්ගේ එකතුව
ජෛව ගෝලය  - පෘතුවිය මත ජීවින් සිටින කලාපය
  • අනුවර්තන [Adaptation]  
                ජීවියකු ජීවත් වන සුවිශේෂි වාසස්ථානයට අනුකූලව ජීවියා තුල ඇතිවන කායචර්මීය, ව්‍යුහමය හා චර්යාමය වෙනස්වීම් අනුවර්තන වේ.
 උදා : පතොක් ශාක වල පත්‍ර ක්ෂීණ වී ක‍ටු බවට පත් වීම. 
         
පරිවෘත්තීය [Metabolism]

                  ජීවි දේහයක් තුල සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා පරිවෘත්තීය ලෙස හදුන්වයි. මෙය සංවෘතීය හා අපවෘතීය ලෙස කොටස් දෙකකට බෙදිය හැක.

 සංවෘත්තීය  - සරල අමුද්‍රව්‍ය යොදා ගනිමින් සංකීර්ණ සංයෝග සැදීම
                       උදා : සියළු සංස්ලේෂණ ක්‍රියා 
 අපවෘත්තීය - සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට බිද හෙලිම.    
                       උදා :සෛලීය ශ්වසනය


  • උද්දීපතාවය හා සමායෝජනය [Irritability and Co-ordination]

අවට පරිසරයේ සිදුවන වෙනස්වීම් හෙවත් උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම, උද්දීපතාවය වේ.උද්දීපතාවයේ හා සමායෝජනයේ ප්‍රතිඵලයක් ලෙස චලන සිදු වේ.

  • චලන [Movement]
                 ජීවින් පෝෂණය හා ආරක්ෂාව සදහා සිදු කරන ජීව ක්‍රියාවලි, චලන ලෙස හදුන්වයි. සතුන් චලනය සදහා කෂිකා, පක්ෂ්ම, ව්‍යාජ පාද, සැකිලි හා ගාත්‍රා දරන ශාක විසින් සිදුකරන චලන ශාක චලන ලෙස හදුන්වයි.


  • වර්ධනය හා විකසනය [Growth and Development]

                   කාලයට සාපේක්ෂව කිසියම් ව්‍යුහයක හෝ අවයවයක හෝ ජීවියෙකුගේ සිදු වන අප්‍රතිවර්ත ප්‍රමාණාත්මක වියළි බරෙහි වැඩි වීම වර්ධනය වේ.

                   ජීවියෙකු තුල ඇති වන අප්‍රතිවර්ත වෙනස්වීම් විකසනය ලෙස හදුන්වයි. මිනිසාගේ සියලු විකසන ක්‍රියා කළල අවධියට සීමා වේ.


  • ආවේණිය [Heredity]

                  දෙමාපියන් සතු ලක්ෂණ දරුවන්ට උරුම කර දීමේ ක්‍රියාවලිය ආවේණිය නම් වේ.


  • පරිනාමය [Evolution]

                  ප්‍රවේණික ද්‍රව්‍යය වල සිදුවන වෙනස්වීම් වලට අනුකූලව කාලයත් සමගම  සිදුවන වෙනස්වීම්.


  • ප්‍රජනනය [Reproduction]

                   පෘතුවිය මත තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සදහා ජීවින් විසින් සිදු කරන ජීව ක්‍රියවලිය, ප්‍රජනනය වේ.